Sunday, March 17, 2013

පුංචි දුරදක්නයක්...

ලඟදි මම ඉතා පුංචි, එහෙත් ඉතාමත් සුපිරි දුරදක්නයක් දැරිය හැකි අඩු මිලකට අන්තර්ජාලයෙන් මිලදී ගත්තා. එහෙත් එය දුටු පමනින්ම නොව, ගොඩාක් තොරතුරු හැදෑරීමෙන් පසුව. කෙසේ වෙතත් එම උත්සාහයෙන් මම දුරදක්න ගැන ගොඩක් තොරතුරු මගේ දනුමට එකතු කරගත්තා.

මේ ලිපිය ලියන්න හිතුනෙ දුරදක්නයක් මිලදී ගැනීමට අදහස් කරන ඔබටත් වටිනා තොරතුරු ටිකක් කියලා දෙන්න.

දුරදක්නයක් කියන්නෙ අද කාලෙ දුරකතනයක් වගේම ගෙදරක තියාගන්න වටිනා  දෙයක්. ඒත් තාමත් අපේ ජීවිතයට දුරදක්නයක් එතරම් සමීප වෙලා නෑ. දුරදක්නයක් කීව ගමන් අපි ගොඩාක් ලොකුවට හිතනවා. හොඳ එකක් නම් ගොඩාක් මිලෙන් වැඩියි. සාමාන්‍ය එකක් සෙල්ලම් බඩු කඩයකිනුත් ගන්න පුලුවන්. අපි ගොඩක් දෙනෙක් හොඳ වර්ගයේ  දුරදක්නයකින් දර්ශනයක් බලල නැති බව මට විශ්වාසයි. ඇත්තටම හොඳ වර්ගයේ දුරදක්නයක් අපිට සාමාන්‍ය මුදලකට මිලදී ගන්න තියෙනවා නම් එය අපේ ජීවිත වලට කොයි තරම් සමීප වෙල තියේවිද.

සාමාන්‍යයෙන් දුරදක්න වර්ග දෙකක් තියෙනවා. monocular හා binocular ලෙස. මේවායින් monocular යනු එක් ඇසකට තබා බලන දුරදක්න ද, අනෙක් වර්ගය (binocular) ඇස්  දෙකටම තබා බලන, සාමාන්‍යයෙන් ප්‍රිස්ම දෙනෙතිය ලෙස හඳුන්වන වර්ගයයි. ( මීට අමතරව තවත් වර්ග රාශියක් තිබුනද අපට එදිනෙදා පාවිච්චියට  අඩු මිලට ලබා ගත හැක්කේ ඉහත දෙවර්ගයි. )





කුමන වර්ගයක, කුමන රටක නිශ්පාදනය කලද, දුරදක්නයක වඩාත්ම වැදගත් වන්නේ පහත කාරණා කීපයයි.
     1. විශාලනය  magnification
     2. අවනෙත් කාචයේ විශ්කම්භය objective lens diameter
     3. කාච හා ප්‍රිස්ම තනා ඇති වීදුරු වර්ගය prism/lens material

ඉහත ප්‍රධාන කරුණු සලකා බලන්න.

1. විශාලනය යනු දුරදක්නයක වැදගත්ම සාධකයයි. එනම් අපි නිරීක්ශණය කරන වස්තුව කී ගුණයක් විශාල වී පෙනේද යන්නයි. හොඳයි, ඔබ මෙය පරීක්ෂා කර බලන්නේ කෙසේද?


පිලිතුර, ඔබේ ජංගම දුරකතන කැමරාව හා කුඩා අඩි කෝදුවක් මාර්ගයෙනි.

තරමක් ඈතින් තිබෙන වස්තුවක ( ගොඩනැගිල්ලක්, වාහනයක්.....) ඡායාරූපයක් ගන්න.

දැන්, කැමරාවේ කිසිම සැකසුමක් වෙනස් නොකර, එතැනම සිට , කැමරාව ඉදිරියෙන් දුරදක්නය තබා කලින් ගත් වස්තුවේම ඡායා රූපයක් ගන්න.

දැන් මෙම ඡායාරූප දෙක පරිගනකයට ගෙන, open කර, ඡායාරූපයේ ප්‍රමාණය වෙනසක් නොකර, පරිගනක තිරය මත අඩි කෝදුව තබා අදාල වස්තුවේ දිග මිලි මීටර mm වලින් වෙන වෙනම මැනගන්න.

දන් එම දිගවල් වල අනුපාතය බලන්න. මෙම අගය දුරදක්නයේ රේඛීය විශාලනයට ඉතාමත් නිවැරදිව සමාන වේ.  (උදා:- අනුපාතය 10 නම්, විශාලනය 10 ගුණයක් වේ).

හොඳ දුරදක්නයක සාමාන්‍යයෙන් 8 සිට 50 දක්වා වුවද විශාලනයක් ලබාගත හැක.


                                                         ( in Kandy Lake side.......)


2. දෙවැනි වැදගත්ම සාධකය වන්නේ අවනෙත් කාචයේ විශ්කම්භයයි. සරළවම කීවොත් මෙහි විශ්කම්භය වැඩි වෙන තරමට, දර්ශනයේ පරාසය ( view field/angle), දර්ශන පථය පුලුල් වේ, දර්ශනයේ ආලෝක ප්‍රමාණයද (brightness) වැඩිවේ.

( අවනෙත් කාචය යනු, දුරදක්නයේ ඉදිරියෙන්ම ඇති කාචයයි. අප අවසානයේ විශාල කර නරඹන දර්ශනය, දුරදක්නය තුලට ඇතුල් කරගන්නේ මේ කාචයෙනි.  එමෙන්ම උපනෙත් කාචය යනු අප අවසානයේදී ඇස තබා නරඹන කාචයයි.)

අඩු ආලෝක තත්වයක් යටතේ පැහැදිලිව දර්ශනයක් නැරඹීමේ හැකියාව ඔබට විශාල අවනෙත් කාචයකින් ලැබේ.

අනෙක් කාරණය දර්ශන පරාසයයි.
අපි මෙහෙම බලමු, මම ලඟ එකම විශාලනයක් තියෙන දුරදක්නය 2ක් තියෙනවා. උදාහරනයක් ලෙස 10 ගුණයක්.

හැබැයි මේ දෙකේ අවනෙත් කාචයේ විශ්කම්භය වෙනස්. එකක 20mm හා අනික් එකේ 40mm ලෙස ගනිමු.

මම දැන් 20mm දුරදක්නයෙන් ඈත තියෙන වාහනයක් දෙස බලනවා.

මට ඒ වාහනයේ අංක තහඩුවේ ඉලක්කම් කියවන්න පුලුවන්. හැබැයි මට පේන්නෙ සම්පූර්ණයෙන්ම මුලු අංක තහඩුව විතරයි.

මම දැන් 40mm අවනෙත තියෙන දුරදක්නයෙන් ඒ වාහනය දිහා බලනවා.
මට දැන් අංක තහඩුව පේනවා කලින් දුටු  ප්‍රමාණයටම.
හැබැයි මට මුලු වාහනයමත් දැන් පේනවා.
                                         Large objective lens                      Small objective lens
                                ( Same magnification with different objective lens diameter....)


මේත් එක්කම තවත් දෙයක් කියන්නම්.
එකම ප්‍රමාණයේ අවනෙත් තියෙන, ඒත් විශාලනය වෙනස් දුරදක්න දෙකකින් කොහොමද පේන්නේ??

පිළිතුර, දෙකෙන්ම පේන්නේ එකම පරාසයක්. ඒත් විශාලනය වැඩි දුරදක්නයෙන්, අනෙකට වඩා විශාලනයෙන් වැඩි, එහෙත් අඳුරු දර්ශනයක් පෙනේ.
                               Less magnification & bright                    More magnification & dark
                                  (Different magnification with same size objective lens)

එසේනම් දැන් ඔබට වැටහෙනවා ඇති අවනෙත් කාචයේ විශ්කම්භය වැඩි වීමේ වාසිය.



3 ඊලඟට වැදගත්ම කාරණය වන්නේ කාච හා ප්‍රිස්ම සාදා ඇති ද්‍රව්‍යයයි
.

විශාලනය, අවනෙත කෙතරම් විශාල වුවද අවසාන දර්ශනයේ ගුණාත්මක බව, සුපැහැදිලි බව, ස්වභාවිකම වර්ණ සංකලණය පමණක් නොව, අවසාන තීරණාත්මක සාධකය වන, මිල තීරණය වන්නේ මෙම ද්‍රව්‍යය මතයි.


සෙල්ලම් දුරදක්න වල ආවරණයේ සිට කාච ද සාමාන්‍ය ප්ලාස්ටික් වර්ග වලින් සාදා ඇත. ඒවා ගැන කතා කිරීම අවශ්‍ය නොවේ.

එහෙත් කාච සඳහා ඉතා උසස් තත්වයේ ප්ලාස්ටික් වර්ග තිබුනද, අතේ ගෙන යන හොඳ දුරදක්න වලට පාවිච්චි කරන්නේ වීදුරු වර්ග ය.
ඇයි????

සරළම පිලිතුර වීදුරු ස්කන්ධයෙන් වැඩි වීමයි. එනම් කාචයේ ගුණාත්මක භාවය වැඩි වීම, ප්ලාස්ටික් වලට වඩා සීරීම් වලට ඔරොත්තු දීම මෙන්ම දුරදක්නයට වැඩි "බරක්" ලබා දීමටය.

ස්කන්ධය වැඩි වන විට අවස්ථිතිය ද වැඩි වීමෙන් දුරදක්නය අතේ තබාගෙන සිටින විට අතේ ඇතිවන සියුම් වෙව්ලීම්, සෙලවීම් වලට දුරදක්නය සෙලවීම අවම වේ. එසේ නොවුනොත් නරඹන දර්ශනය අධික ලෙස ගැස්සීමෙන් ඈත තිබෙන පුවරුවක වැනි යමක අකුරු කියවා ගැනීම අපහසු වේ. (ප්‍රමාණවත් විශාලනයක් තිබුනද)

දැනට ජනප්‍රියම උසස්ම වීදුරු වර්ගය ලෙස ක්‍රවුන් වීදුරු crown glass වර්ග පාවිච්චි කරයි.
(පාසලේදී විද්‍යාගාරයේ පාවිච්චි කළ මිල අධික වීදුරු ප්‍රිස්ම crown glass වලින් තනා තිබෙන බව ඇසුවා සමහර විට ඔබ මතක ඇති)
සාමාන්‍යයෙන් මේවායේ වර්තන අංකය Refractive index 1.52ක් පමණ වේ.

මේවයේ ජනප්‍රියම වර්ග ලෙස Schott BK7 සහ BK4 වර්ග දෙක පාවිච්චි කරයි. (වැඩි විස්තර සඳහා භෞතික හා රසායන විද්‍යා පාඩමක් කිරීමට බලාපොරොත්තු නොවෙමි)

කුඩා දරුවෙක් ලඟ තිබෙන දුරදක්නයකින් ඔබ බලා ඇත්නම්,  එයින් දර්ශනයේ සාමාන්‍ය ස්වභාවික වර්ණ වලට ලා කොල පැහැයක් එකතු වී පෙනේවි. එමෙන්ම පෙනෙන වස්තූන්ගේ දාරයේ වර්ණාවලීන්, එනම් දාර වල දේදුන්නේ වර්ණ සහිත රේඛා පෙනේවි.
එහෙත් මෙම වීදුරු කාච හා ප්‍රිස්ම මගින් කිසිසේත්ම එවැනි විකෘති ප්‍රතිබිම්භයක් ලැබෙන්නේ නැත.

කෙසේ වෙතත් මේ වර්ග දෙකෙනුත් BK4 වර්ගය ඉතාමත් උසස් ගුණාත්මක බවකින් යුක්ත වේ.

දැන් ඔබට සැලකිය යුතු දැනුමක් ලැබුනා. ඒත් ඉහත දෑනුම, දුරදක්නයක් මිලදී ගැනීමේදී පාවිච්චි කරන අන්දම සලකා බලමු.
monocular හා binocular වර්ග දෙකෙන් ඔබ තෝරා ගන්නේ කුමක්ද? මම නම් තෝරා ගත්තේ monocular වර්ගයයි. සරලම පිළිතුර ඉතාම උසස්ම තත්වයේ දුරදක්නයක් තරමක් හෝ අඩු  මිලට (රුපියල් 1000 සිට 3000 දක්වා) ලබාගැනීමට හැකිවීම.


දුරදක්න වල 6x21, 8x21,  10x21, 15x32, 16x40, 22x32 ආදී ලෙස අගයක් සටහන් කර ඇති.
මෙහි පළමු අංකයේ තේරුම, එහි විශාලනයයි. දෙවන අගයෙන් පෙන්නුම් කරන්නේ අවනෙත් කාචයේ විශ්කම්භය ම්ම් වලිනි.

උදාහරණයක් ලෙස 15x32 ලෙස සඳහන් දුරදක්නයේ 15 ගුණයක් ලංවී පෙනෙන අතර අවනෙත් කාචයේ විශ්කම්භය 32mm වේ.

විශාලනය කොහොමත් 8ට වඩා වැඩි වන තරමට හොඳය.


ඔබ රාත්‍රී අහස බැලීමටද උවමනා නම්, ඒ සඳහා 20 ගුණයක වත් විශාලණයක් සහිත, 40mm වත් අවනෙතක් සහිත දුරදක්නයක් සුදුසුය.

සාමාන්‍ය දර්ශන නැරඹීමට, කුරුල්ලන් නැරඹීමට, එදිනෙදා පාවිච්චියට අනෙත් ඔනෑම එකක් සුදුසු වේ.

එහෙත් මතක තබා ගන්න, ඔබ කොයි තරම් ප්‍රසිද්ධ වෙලඳ ආයතනයකට ගියද, කුමන රටේ නිශ්පාදනය කර තිබුනද, විශාලනය ඇතුලු විස්තර සමග කාච සාදා ඇති ද්‍රව්‍යය BK7 හෝ BK4 ලෙස නොබියව සඳහන් කර තිබේ නම් එය  ඉතා හොඳ දුරදක්නයකි.

තවත් දැනගැනීමට දෙයක් තියෙනව නම් අහන්න. ස්තූතියි.